Friday, 1 October 2021

සන්නිවේදනය ආරම්භය හා විකාශය


සන්නිවේදනය ආරම්භය හා විකාශය****
(01 පාඩම)


සන්නිවේදනය අත්‍යාවශ්‍ය මානවීය ක්‍රියාවලියකි. පුද්ගල අන්තර් සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා සෑම පුද්ගලයෙකුට ම සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. සන්නිවේදනය යන්නෙහි සරල අර්ථය වන්නේ හැඟීම් දැනීම්, අදහස් සහ දැනුම යනාදිය හවුමාරු කර ගැනීම යි. ප්‍රාථමික සමාජවල විසූ මිනිසුන් විවිධ ශබ්ද, සංඥා, සංකේත භාවිතයෙන් කළ සරල අදහස් හුවමාරුවේ සිට වර්තමානය වන විට ජනමාධ්‍යය හා අංකිත සන්නිවේදන  තාක්ෂණ මෙවලම් හරහා සිදු කරනු ලබන තොරතුරු හුවමාරුව දක්වා සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් වී ඇත. නූතනයේ විශ්වය එක ම පවුලක් වන තරමට මානව අන්තර් සම්බන්ධතා සමීප කරවීමට සන්නිවේදනය හේතු වී තිබේ.

සන්නිවේදන ක්‍රියාවලියේ වර්ධනයත් සමඟ ජනමාධ්‍යයන් ඇතුළු විවිධ දියුණු සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සිදු වන අසීමාන්තික තොරතුරු ජනනය, හුවමාරුව හා ව්‍යාප්තිය තනි තනි පුද්ගලයාගේ මනස හා චර්යාව කෙරෙහිත් පුද්ගලයාගේ සමාජීය අන්තර් සම්බන්ධතා කෙරෙහිත් අවසානයේ සමස්ත සමාජය කෙරෙහිත් ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබයි. එය ඉෂ්ට මෙන් ම අනිෂ්ට බලපෑමක් විය හැකි ය. මාධ්‍ය ඔස්සේ අසීමාන්තික ව, විචිත්‍රවත්  ආකෘති ඔස්සේ, සීග්‍රයෙන් ගලා එන තොරතුරු පරිහරණය කිරීමෙන පුද්ගලයා සනිවේදනය සිදු කරයි.හුදෙකලා පුද්ගල ඒකක ලෙස සමාජයේ තනි ව කටයුතු කිරීමට සක්‍රි‍ය පුරවැසියෙකුට නොහැකි ය. 
එසේම පුද්ගලයා සමාජ ජීවියෙකු ලෙස තොරතුරු පරිහරණයෙන් වැළකී සිටීම හෝ ඔහු ව වළකා තැබීම කළ නොහැකි ය. පුද්ගලයාගේ හා සමාජයේ ප්‍රගමණයට අවශ්‍ය තොරතුරු ලබා ගත යුතු ය. මේ සඳහා අවශ්‍ය වන්නේ මාධ්‍යය ඔස්සේ ලබා දෙන තොරතුරු තෝරා බේරා ගෙන පරිහරණය කිරීමේ ඥානය යි. මාධ්‍යය විසින් මවන මායාව හා යතාර්ථය වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට ශක්තිය ඇති කරන පුද්ගලයාට  අවශ්‍ය  වන මාධ්‍යය සාක්ෂරතා ඥානයන් සහ විචාරශීලී ග්‍රාහකයන් ලෙස කටයුතු කිරීමට හැකියාවක් තිබිය යුතුය.

යුනෙස්කෝ සංවිධානය 1982 වසරේ දී ගෲන්වල්ට් ප්‍රකාශනය විසින් හා එහි සමුළු වාර කිහිපයක දී ම මාධ්‍යය යේ අහිතකර බලපෑමෙන් ළමා හා තරුණ පරපුර මුදවා ගත යුතු බව දක්වන ලදී. එහි දී මාධ්‍යය  සාක්ෂරතාවෙන් හා විචාරශීලී ලෙස මාධ්‍ය  පරිහරණය කිරීමේ ඥානයෙන් මෙන් නිර්මාණශීලී චින්තනයෙන් දරුවන් බලසම්පන්න කළ යුතු බව අවධාරණය කරන ලදි. පාසලේ ප්‍රාථමික ශේණියේ සිට මාධ්‍යය අධ්‍යාපන ය ලබා දිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කර සිටියේ ද ඒ අනුවයි. විෂය නිර්දේශයෙහි සංක්ෂිප්ත ව දක්වා තිබූ විෂය කරුණු මෙහි දී විස්තරාත්මක ව ඇතුළත් කර තිබේ.
ඒ අනුව සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාධ්‍ය  සාක්ෂරතා ඥානයෙන් හා විචාරශීලී ව මාධ්‍ය  පරිහරණය කිරීම පිළිබඳ අවබෝධයෙන් යුක්ත සක්‍රීය සන්නිවේදකයන් මෙන් ම පුරවැසියන් වීම අත්‍යාවශ්‍ය  ය. ඒ සඳහා මෙම විෂයයෙහි විෂය අන්තර්ගතය පෙළ ගස්වා ඇත. 

සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය ය විෂයයක් ලෙස හැදෑරීම ආරම්භ වූ ආකාරය, එහි වර්ධනය, සන්නිවේදන විෂයය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සහ විෂයය හැදෑරීමේ වැදගත්කම හා අවශ්‍යතාව පිළිබඳ අවබෝධය ලබා දීම මෙම  ඒකකය මඟින් සිදු වේ. එමඟින් සන්නිවේදනය හා මාධ්‍යයේ අධ්‍යාපනය විෂයය හැදෑරීමට අවශ්‍ය  පදනම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දීම අපේක්ෂා කෙරේ.

සන්නිවේදන අධ්‍යයනයයෙහි ආරම්භය, විකාශය හා ඉගෙනීමෙහි වැදගත්කම 

•සන්නිවේදනයේ  මානව අන්තර් සම්බන්ධතාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවකි. මිනිසා මිහිමත ජීවත් වීම ආරම්භ කළ දිනයේ සිට මානව සන්නිවේදනය ක්‍රියාත්මක වේ. 
      
• ප්‍රාථමික සමාජයන්හි විසූ ජනයා සිය සරල ජීවන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විවිධ සංඥා, ශබ්ද, සංකේත භාවිත කරමින් ආරම්භ කළ අදහස් ප්‍රකාශනය අද වන විට දියුණු සන්නිවේදන තාක්ෂ ණික මෙවලම් ඔස්සේ සිදු වන ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බවට පත් ව තිබේ.

• සන්නිවේදන තාක්ෂණයේ දියුණුව, ජනමාධ්‍යයන්ගේ වර්ධනය මාධ්‍ය  මඟින් සමාජය වෙත කළ බලපෑමේ ස්වභාවය සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ස්වාධීන විෂයයක් ලෙස වැඩීමටත්, ගැඹුරින් අධ්‍යයනය කිරීමටත් ප්‍රධාන වශයෙන් හේතු විය. 

•සන්නිවේදන අධ්‍යයනයෙහි ප්‍රධාන අරමුණ වන්නේ මානව අත්දැකීම්වල කේන්ද්‍රීය සාධකය ලෙස සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හැදෑරීමයි.

•මෙහි දී මානව අත්දැකීම් යන්නට සන්දේශ නිර්මාණය, හුවමාරු කර ගැනීම, ඒවා අර්ථකතනය කිරීමේ දී ජනතාව හැසිරෙන, ක්‍රමය කරන ආකාරය කෙසේ ද? යන්න අවබෝධ කර ගැනීම ඇතුළත් වේ.
    
• සන්නිවේදනය යන්න මිනිසාගේ ආරම්භය තෙක් දිවයන ක්‍රියාවලියක් වුවත් එය ශාස්ත්රීනය විෂය ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි ලෝකයේ අවධානය යොමු වන්නේ 20 වන සියවසේ මුල් භාගයේ දී ය.     

•කාර්මික විප්ලවය, පළමුවන හා දෙවන ලෝක යුද්ධ හේතුවෙන් සන්නිවේදන තාක්ෂලණයේ සිදු වූ ශීඝ්‍ර  දියුණුව ජනමාධ්යය බිහි වීම, වර්ධනය හා ව්‍යාප්තිය කෙරෙහි බලපෑවේ ය. මෙම තත්වය සන්නිවේදන විෂයය පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව හා අවශ්‍යතාව ඉහළ නැංවී ය.

• ලෝක යුද්ධ අවසන් වීමෙන් පසු යුද්ධ තොරතුරු වාර්තා කිරීම හා හුවමාරු කිරීම සඳහා භාවිත කළ මාධ්‍ය ජනතාව වෙනුවෙන් විනෝදාස්වාදය හා තොරතුරු සම්පාදනය කිරීමට යොදා ගන්නා ලදි.
     
•යුද්ධයෙන් පීඩාවට පත් ව සිටි ජනතාවගේ බිඳ වැටුණු මානසිකත්වය ඉලක්ක කර ගනිමින් මාධ්‍ය  ඔස්සේ සරල විනෝදය ගෙන දෙන ත්‍රාසය, භීතිය, වීරත්වය හා ලිංගිකත්වය මතු කරන ආකාරයේ ටෙලි නාට්‍යය, චිත්‍රපට, පුවත්පත්, ගීත ආදිය බහුල ලෙස සම්පාදනය කරනු ලැබිණ. 

•මෙකල වාණිජ පරමාර්ථයෙන් මෙන් ම බලය ලබා ගැනීමේ හා තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් ද මාධ්‍ය  හිමිකරුවන් විසින් හා දේශපාලන නායකයන් විසින් අත්තනෝමතික ලෙස ජනමාධ්‍යය භාවිතයට ගනු ලැබ ඇත. 

• මේ සෑම ආකාරයෙන් ම මාධ්‍යය මඟින් සමාජය වෙත එල්ල කළ තියුණු බලපෑම විසින් සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යනය කිරීමට විද්වත්තු පොලඹවනු ලැබූහ.

•ඒ අනුව එක් දහස් නවසිය විසි ගණන්වල දී විවිධ විෂය ක්ෂේත්රොයන්හි ශික්ෂණය ලබා තිබූ විශේෂඥ දැනුමෙන් යුතු විද්වත්හු ඔවුන්ගේ පර්යේෂණ අනාවරණ මඟින් එවක ක්‍රියාත්මක වූ ජනමාධ්‍යය පුද්ගලයා කෙරෙහි හා පුද්ගල සමාජ සම්බන්ධතා කෙරෙහි බලපෑමක් ඇති කරන බව තහවුරු කළහ.
 
• සන්නිවේදන විෂයය “සන්නිවේදන අධ්‍යයනය ” නමින් ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වීමට පෙර එය ප්‍රධාන විෂයයන් තුනක් වන මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව හා දේශපාලන විද්යායව යන ශික්ෂපණවේදයන්හි අන්තර්ගත විය. 

•සමාජ විද්‍යා ක්ශේත්‍රයේ  චාල්ස් කූලී, දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයේ වෝල්ටර් ලිප්මාන් මෙන්ම  ජෝන් ඩුවී යන විද්වතුන්ගේ අදහස් හා පර්යේෂණ අධ්‍යයන විසින් සන්නිවේදන අධ්‍යයනය  ශාස්ත්‍රීය විෂයයක් ලෙස වර්තමාන තත්වයට පත් කිරීමට අවශ්‍ය   පදනම සකස් කරනු ලැබිණ.


*චාල්ස් කූලි (1864-1929) 
*වෝල්ටර් ලිප්මාන් (1889-1974) 
 *ජෝන් ඩුවී (1859-1952) 
චාල්ස් කූලී ‘සමාජ සංවිධානය’ කෘතිය ද  වෝල්ටර් ලිප්මාන් ‘ජනමතය’ කෘතිය ද ජෝන් ඩුවී ‘ජනතාව හා ඔවුන්ගේ ගැටලු කෘතිය ද සම්පාදනය කරමින් දැක්වූ අදහස් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය,ව්‍යවහාරික සංගීත හා ජන සන්නිවේදන අධ්‍යයන අංශය. ක්ෂේත්‍රය සංවර්ධනය කළේ ය.

 
• මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය  සන්නිවේදනය බව චාල්ස් කුලී විග්‍රහ කරන අතර මෙම විද්වත්හු තිදෙනා ම පුද්ගලයාගේ සමාජ ජීවිතයේ වැදගත් ම කේන්ද්‍රීකරණ සාධකය සන්නිවේදනය ලෙස හඳුන්වා දෙති. 

• වෙනස් වන හා දියුණුවන මාධ්‍ය  තාක්ෂණය සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම,
සන්නිවේදනය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාව යන කරුණු අතර ඇති සම්බන්ධතාවෙන් මතු වන සමාජ ගැටලු පිළිබඳ මෙම විද්වත්හු තව දුරටත් කරුණු ඉදිරිපත් කළහ. මෙම අදහස් සන්නිවේදනය ශාස්ත්‍රීය  විෂයයක් ලෙස අධ්‍යයනය  කිරීමට අවශ්‍ය  පදනම සකස් කරන ලදි. 

•මෙයින් පසු සන්නිවේදන අධ්‍යයනය  ශාස්ත්‍රීය  විෂයයක් ලෙස ස්ථාපනය වීම යුරෝපීය සහ අමෙරිකානු විද්වතුන් රැසකගේ පුරෝගාමීත්වයෙන් අමෙරිකාව කේන්ද්‍රකර ගනිමින් සිදු ව ඇත. සන්නිවේදන අධ්‍යයනය තව දුරටත් වෙනත් විෂයයන්හි අන්තර්ගත වූ විෂයයක් ලෙස නො ව ස්වාධීන විෂයය ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වීම සිදු විය. 

•1933 වසරේ සිට 1945 පමණ දක්වා ජර්මනියේ ක්‍රියාත්මක  වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ එරට විශ්ව විද්‍යාල වලින් පිටමං කරනු ලැබූ විද්වත්හු විශාල ප්‍රමාණයක් අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය  වූහ. ඔවුහු අමෙරිකානු විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ විවිධ ශාස්ත්‍රීය  අධ්‍යයනයන්හි නිරත වූහ. 


•හැරල්ඞ් ඩී. ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඞ්, කාල් හව්ලන්ඞ්, විල්බර් ශ්‍රාම්, ජෝර්ජ් ගාබ්නර් වැනි විද්වතුන් විසින් ද ක්ලෝඞ් ශනොන් සහ වොරන් වීවර් යන ඉංජිනේරු විෂය ක්ෂේත්‍රයේ විද්වතුන් ද විසින් සන්නිවේදන  අධ්‍යයනයයෙහි ශාස්ත්‍රීය  සංවර්ධනයට අවශ්‍ය  පදනම සකස් කරන ලදි.


• 1940 දශකයේ දී මහාචාර්ය විල්බර් ශ්‍රාම් විසින් සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය  විෂය ක්ෂේත්‍රයක් ලෙස ආයතන ගත කිරීමට පියවර ගන්නා ලදි. ඒ අතර ජනමාධ්‍ය  පාසල්, සන්නිවේදන පර්යේෂණ ආයතන ස්ථාපිත කිරීම හා විශ්වවිද්‍යාල සඳහා නව අධ්‍යයනය  අංශ ආරම්භ කිරීම පෙන්වා දිය හැකි ය. 

•සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය  විෂයයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ පළමු විශ්වවිද්‍යාලය  ලෙස ඉලිනොයිස් විශ්වවිද්‍යාලය  හඳුන්වා දිය හැකි ය.

• කාර්මික විප්ලවය, පළමු වන සහ දෙවන ලෝක සංග්‍රාම හේතුවෙන් තාක්ෂණික වශයෙන් ජනමාධ්‍යයන්ගේ වර්ධනයත් බහුල වීමත් සිදු විය. 

•පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී  මෙන් ම ඇඩෝල්ෆ් හිට්ලර් වැනි පාලකයන් ද මාධ්‍ය   හිමිකාරිත්වය දැරූ ව්‍යාපාරිකයන්  ද විසින්  විවිධ ප්‍රචාරණ  හා ප්‍රවර්ධන කටයුතු සඳහා සන්නිවේදන මාධ්‍ය   යොදා ගැනීම සහ එහි අහිතකර ප්‍රතිතිවිපාක සමාජය කෙරෙහි ඇති කළ බලපෑම විද්වතුන් සන්නිවේදන  ක්ෂේත්‍රය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කිරිමට ප්‍රබල ලෙස හේතු විය. 

• 1960 දශකයේ මුල් භාගයේ දී සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව  සහ ඉංග්‍රීසි  භාෂාව ආදි විෂය ක්ෂේත්‍රය තුළ අන්තර්ගතව තිබූ සන්නිවේදන අධ්‍යයනය  ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් ලෙස වෙන ම අධ්‍යයනය  කිරීම ආරම්භ විය. 

•ජනමාධ්‍ය  මඟින් ඉදිරිපත් වූ සන්දේශ සහ මාධ්‍යයන්ගේ ක්‍රියායකාරීත්වය ජන ජීවිතයේ සියලු දේ කෙරෙහි බලපෑම් ඇති කිරීමට හේතු වන බව 60, 70 දශකවල සන්නිවේදන ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් සිදු කරන ලද පර්යේෂණ අධ්‍යයන  මඟින් අනාවරණ කර ගන්නා ලදි.

•විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය  දරුවන් කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ මහාචාර්ය විල්බර් ශ්‍රාම් වැනි විද්වතුන් සහ විශ්වවිද්‍යාල  පර්යේෂණ කණ්ඩායම් විසින් සිදු කළ පර්යේෂණ අධ්‍යයනයන්හි අනාවරණ ගැඹුරින් සාකච්ඡාවට ලක් විය. 

•මහාචාර්ය විල්බර් ශ්‍රාම් විසින් රුපවාහිනී මාධ්‍ය  පිළිබඳ සිදු කළ ප්‍රථම පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ ළමයින්ගේ සමාජ සම්බන්ධතා දුරස් වීම හා රුපවාහිනි භාවිතය අතර සම්බන්ධතාවක් පවතින බවයි.  දෙමව්පියන් සමඟ අඬදබර කරගන්නා දරුවන් තම නොරිස්සුම් සහගත හැඟීම්වලින් පලා යාමට, සිත් වේදනාවන් අමතක කර ගැනීමට රූපවාහිනිය නැරඹීමට යොමු වන බව තවදුරටත් වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කළේය.

• පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රචණ්ඩ ක්‍රියා සහිත හා රහිත කාටුන් වැඩසටහන් ළමයින් කණ්ඩායම් දෙකකට නැරඹීමට අවස්ථාව ලබා දී සිදු කළ පර්යේෂණය මහාචාර්ය විල්බර් ශ්‍රාම් සිය පර්යේෂණය මඟින් ඉදිරිපත් කළ කරුණු තහවුරු කිරීමට සමත් විය. 

•මෙහි දී පෙන්සෙල්වේනියානු විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම් රූපවාහිනියේ  ප්‍රචණ්ඩ ක්‍රියා සහිත වැඩසටහන් නැරඹීම නිසා ළමයින් තුළ ප්‍රධාන වශයෙන් වෙනස්කම් තුනක් සිදු වන බව පෙන්වා දෙන ලදී.
1. වේදනාත්මක දේ පිළිබඳ සංවේදිතාව අඩු වීම.
2. දරුවන් ඔවුන් ජීවත්වන පරිසරය හා අවට ලෝකය පිළිබඳ බියක් ඇති කර ගැනීම
3. අන් අය සමඟ කටයුතු කිරීමේ දී ආක්‍රමණශීලී වන්නටත් ඉක්මනින් ආරවුල් ඇති කරගන්නටත් දරුවන් තුළ නැඹුරුව වැඩි වීම. 

•මෙම පර්යේෂණ අධ්‍යයන   හේතුවෙන් සන්නිවේදන අධ්‍යයන ක්ශේත්‍රය  තව දුරටත් සංවර්ධනය විය.

•1960 සහ 70 දශක වන විට ජනමාධ්‍ය  විසින් සමාජ වෙත එල්ල කළ බලපෑම 80 සහ 90දශකවල අංකිත තාක්ෂණික මාධ්‍ය  මෙවලම් භාවිතයට පැමිණීම සහ වර්තමානය වන විට නව  මාධ්‍ය, සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරිත්වය සන්නිවේදන අධ්‍යයනය ක්ශේත්‍රයේ යේ විෂය පථය තවදුරටත් පුළුල් කිරීමට හේතු වී ඇත.

 
•සන්නිවේදනය විෂයය සජීව මෙන් ම සක්‍රීය විෂය ක්ෂේත්‍රයකි. සන්නිවේදන තාක්ෂණයේ නැගීමත් සමඟ අතීතයේ සිට එය වර්ධනය වී ඇත. එසේ ම වර්තමානයේ සහ අනාගතයේ ද  මෙම විෂයය සන්නිවේදන තාක්ෂේණයේ දියුණුව, නවීන සන්නිවේදන මෙවලම් හා ඒවා භාවිතයේ ස්වභාවය සහ එමඟින් සමාජය වෙත කරනු ලබන බලපෑම අනුව වෙනස් වන අතර ඉදිරියේදී ද වෙනස් වේ. 

 ■ සන්නිවේදන අධ්‍යයනය ක්ශේත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය  වශයෙන් අධ්‍යයනය කිරීමෙන්, 
 
01 ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදන ක්‍රියාදාමය හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය  පිළිබඳ අවබෝධය ඇති වීම.
02 විචාරශීලී ව මාධ්‍ය  පරිහරණය කිරීමේ කුසලතා වර්ධනය වීම.
03 අවශ්‍ය , අදාළ තොරතුරු තෝරා ගැනීමේ හැකියාව. 
04 ගවේෂණශීලීභාවය, විචාරශීලි චින්තනය දියුණු වීම.
05 මාධ්‍ය  සාක්ෂරතාව වර්ධනය වීම.
06 යහපත්, ආචාරශීලී හා ඵලදායී මානව අන්තර් සම්බන්ධතාව ඇති වීම.
07 සමාජ ප්‍රගමණය සඳහා සක්‍රීය දායකත්වය සැපයීම.
08 නිර්මාණාත්මක චින්තනය හා මාධ්‍ය  සන්දේශ නිර්මාණය වීම.
09 සංවර්ධනාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී  චින්තනයෙන් පෝෂණය වූ පුරවැසියෙකු වීමට අවශ්‍ය  දැනුම, ආකල්ප, කුසලතා හා පුරුදු ඇති වීම.
10 ජන මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය  පිළිබඳ අවබෝධය පුද්ගලයෙකු තුළ ගොඩනැංවේ.

සටහන : සචීරා සත්සරණි 
         ජන සන්නිවේදන අධ්‍යයන අංශය
         කැළණිය විශ්වවිද්‍යාලය 

         

12 comments:

සමූහ සන්නිවේදනය හා මහජන සන්නිවේදනය

  සමූහ සන්නිවේදනය (Group Contiunication) * කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති වූ එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය ය...